අලුයම දුටු වීදුරු උළුකැටය

දහවල ගත් රූපයකි..
වේලාව පෙරවරු තුනට පමණ ඇත.කිසිඳු හැලහොල්මනකින් තොරව ඇඳ මත්තට වී වටපිට අවකාශය ප්‍රත්‍යක්ෂ කරගන්නට බැලුවේ එය සිහිනයක ලක්ෂණ දරනවාද බැලීමටය. හ්ම්..විඳුලි පංකාවේ රළු ස්වරයත් , ඉඳහිට ඇසෙන සතෙකුගේ ශබ්ධයත් හැරුනු කොට සියලු සත්වයෝ තවමත් නිදි සුව විඳිනු දැනේ. සිවිලිමක් නැති වූ උළු වහළය දෙස ඇස් යොම සිටින මට උළු අතුරින් පතිත වන පින්න ඉඳහිට කිවිසුමකට පන පොවන්නේ නොදැනුවත්වමය.

වහළයේ එක් තැනක් මාගේ අවධානය දිනාගත්තේ නැත්තේද නොවේ. එය වීදුරු උළුකැටයකි. මකුළුවන්ගේ සිත්තමින් හැඳිගෑවුන අතීතයක් දක්නට ඇතත් එය පිසදැමුවොත් එහි පාරදෘෂ්‍යත්වය හා තරුණකම තවමත් සූරැකිව ඇති බැව් සිතේ.ඇත්තටම අප බොහොමයක්ගෙ  ජීවිත පාරදෘෂ්‍යත්වය නෑ නේද?

සඳ එළිය හා මද්දහනට හිරු එළිය වීදුරුව අතරින් පතිත වෙන්නේත් නිලඹර මහා මේඝයන්ගෙන් වැසී වියරු වැටුනු කල අන්ධකාරය පමණක් දෙන්නේත් මගේ යටගියාවට දැයි සිතේ. මා මේ නෙත් යොමා සිටින්නේ මගේම ජීවන වේදිකාවටද? සිතිවිල්ල එකවර සිතෙන් බැහැර කළ නොහැක්කකි. පරිශ්‍රමයෙන් ඉවත ලෑමට යන සිතිවිලි නිසා අනතුරුව යොමුවන කාර්‍ය්න්ට ද පෙර සිත ඇඳගත් උපන්‍යාසයේ ගති ලක්ෂණ දරන බැවින් සිතට සිතුවිල්ලක් ආ විට එම සිතුවිල්ලේ හේතුව සපුරා දැනගත යුතුය. හේතුව නැතිවූ කළ සිතිවිල්ලද නැති වී යයි. එය සිතේ ස්වභාවය බව දත යුතුය.

පස්වසක් මුලුල්ලේම  කාමරයටත් මටත් ආලෝකය ද අඳුර ද උරුම කොට දී මුනිවත රැකගෙන සිටි ඔබ මට දැන් කතා කරන්නේ ඇයි? මෙතක් ආ ගමනේ යටගියාවත අවස්ථාවෙන් අවස්ථාවට මා කළ මොඩකම් පෙනෙන්නේ සම්භාව්‍ය රංගන ශිල්පියකු සිය සතර අභිනයන් හරහා නරඹන්නෙකුට ගෙනහැර පාන්නාක් මෙනි. ආලෝකය වසාලන්නට තැත් කරන අසාර්ථක වූ මකුළුවාගේ ප්‍රයත්නය ඵල නොදරන්නේ මාගේ සිහිකල්පනාව තවමත් ඇති නිසා විය හැක.

අන්‍යන්හට කල හොඳ මෙන්ම නරකද යහමින්ව ගැබ්ව ඇති මතුවටත් වළලා දමා ඇති අතීතයක් මට හිමිය.ගෙවුනු කාලය බල්ලට ගියාවේ...එහෙත් එලඹෙන යාමයේ පටන් ආත්මයේ සිට අන්නාත්මය තෙක් විසිය යුතු ආකාරය ගැන මට පණිවුඩයක් ලබාදුනි. එය මා උළුකැටයක් දෙස බැලු දෘෂ්ටි කෝණය මෙන්ම හදවතත් ව්ඥානයත් එක්ව අත් අල්ලාගත් මොහොතකි.

Comments

  1. ඉහත දැක්වූ මකුළුවා නම් චරිතය මා විසින්ද විටෙක සබැ ජීවිතයේදී රගදැක්වූ අවස්ථා මගේ සිහියට නැගෙයි.නමුත් කාලය හරහා ගමන් කරනා අවඩියක් උදා වන තෙක් එය පිලිබදව පසුනොතැවීමට වගබලා ගනිමි.

    ReplyDelete

Post a Comment